Sunday, 23 August 2015

මාන්තිව් දූපතේ අන්තිම දෙන්නා

පාළු දූපතක පුරවැසියන් දෙදෙනකුගේ කතාවක්









මඩකලපු අහස ගිනි ගෙන ය. ගත නැඟෙන දාහය එය සැබෑවක් බව අපට කියයි. වලෙයිරෝ පාලම අසල කලපුවේ ධීවරයන්ට නම් ඒ බව ගානක්වත් නැති හැඩ ය. ඔවුහු මුහුදු දිය මත තියුණු නෙතු හෙළා බලා හිඳීති. දාහයෙන් දැවී දැවී සිටි අපට ඈතින් පෙනෙන දූපත නෙත ගැටෙන්නේ අහම්බයෙනි.

අර මොකක්ද?” අසල සිටි ධීවරයකුගෙන් නිකමට මෙන් ඇසුවෙමු.
මාන්තිව්
මොනවද එහෙ තියෙන්නේ?”
තරමක සිනාවක් මුවගට නඟාගත් ධීවරයා,
ලාදුරු ලෙඩ්ඩු ඉන්නවා කියලා නම් දන්නවා. වෙන මුකුත් නම් නෑකැඩුණු සිංහලෙන් කීවේය. ඔහුගේ කතාවට එක් වූ අයෙක්, “හැබැයි දෙන්නයි. ඉස්පිරිතාලේ වැඩකරන අයනම් දහයකට වැඩියි. ආ තව පෝස්ට් මාස්ටර් කෙනකුත් ඉන්නවා, හැබැයි එයාට ලියුම් එන්නේ නෑකීවේ ය.
මහත් කුතුහලයක් ගෙන දුන් මේ කතාබහෙන් අනතුරුව මාන්තිව් වෙතට යෑමේ අරමුණ වෙනුවෙන් අපි උනන්දු වීමු.

බෝට්ටුවක නැඟුණු අප මාන්තිව් කරා ගමන් අරඹන්නේ ඊළඟට ය. වලයිරෝ සිට සැතපුමක් පමණ දුරින් වන්නට මාන්තිව් දූපත පිහිටා ඇත. දූපතට පය තැබූ විට ම ඇස ගැටෙන්නේ පුල්ලයාර් දෙවියන් උදෙසා කළ කෝවිලකි. එය අසලින් ම ඇති අඩිපාරේ අප ඉදිරියට ඇදෙන්නට පටන් ගත්තා පමණි.
මොනරුන් දෙදෙනකු සෙබඩක දිනා ගැනීමේ ප්‍රේම තරගයකි. සෙබඩ මැදි කරගෙන ආඩම්බරකාර මොනරුන් දෙදෙනා පිල් විදහාලමින් ජේත්තුකාර නැටුමක ය. නැටුමට මැදි වූ සෙබඩ දෙපසට වැනෙමින් සිටින්නේ කවුරුන් තෝරා ගන්නේ දැයි යන හැඟීමෙන් වන්නට ඇත.
කෙසේ හෝ අවසානයේ ඇය මොනරකුට සමීපවත්ම අනෙක් මොනරා ලජ්ජාවෙන් මෙන් පසුබා ගියේ ය. තවත් මොහොතකින් පෙම්වතුන් යුවළ ද කැලෑ වැදුනහ. නැවැතත් ඉදිරියට ම ගමන් ඇරඹූ අපට මාන්තිව් දූපතේ අනේකවිධ වර්ගයේ කුරුල්ලන්ගෙන් ගහන බව අපට පසක් වෙමින් තිබිණි.
මෙකල පක්ෂීන්ගේ සංචාරක සමය හෙයින් එය තවත් ඉහළ ගොස් ඇති බව පෙනිණි. දියකාවන් ද, දියකාවන්ගේ බිජු හොරා කෑමට බලා සිටින රාජාලි උකුස්සන් ද මේ අතර විය. අප එක තැනක තත්පරයක් නතර වුවහොත් එසැණින් ම කුරුල්ලන්ගේ අසුචි වැලකින් සංග්‍රහය ලැබෙන්නේ ය. ඒ තරමටම කුරුල්ලෝ ගස්වල අරක්ගෙන ය.
මෙසේ ටිකෙන් ටික දූපත මැද්දට සැතපුමක් පමණ අපි පැමිණියෙමු.
අප මෙතෙක් වේලා දුටු සුන්දර සියල්ල මායාවක් වෙන මොහොත එළැඹෙන්නේ මෙතැන් සිට ය.
ගරාවැටුණු ගොඩනැගිලි රැසකි. ගණනින් ගොඩනැගිලි විස්සකට වැඩි වන්නට ඇත. අතීතයේ ලාදුරු රෝගීන් නැවතී සිටියේ මේ නිවාසයන්හි ය. දැන් ඒ අසල පළාතකවත් ඉන්නට බැරි තරමින් කුරුල්ලෝ අසුචි හෙළා ඇත.
කොළ පැහැති ගස්කොළං සුදු පැහැ ගෙන දිස්වන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙස ය. මේ අතරින් පතරින් ගිය අප නතර වූයේ ලාදුරු රෝහලේ වාට්ටුවේ ය .වාට්ටුවට ඇතුළු වත්ම අප ඉදිරියට ආවේ අවුරුදු අසූවක් පමණ වයසැති අයෙකි. වනක්කම්හෙතෙම දෑත් එක් කළේය.
නමින් කුරුනාදන් වන ඔහු ලාදුරු රෝගයේ ගොදුරක් වී සිටි අයකි. ඒ බව පෙනෙන ලකුණු රැසක් ම ඔහුගේ ශරීරයේ පෙනෙන්නට තිබිණි. තවත් මොහොතකින් එතැනට දිව ආවේ සේන ය. මේ රෝහලට ම සිටින ලාදුරු රෝගීන් දෙදෙනා ය.
ලාදුරු යනු මානව ඉතිහාසයේ ඇති වූ දරුණු ම රෝගයකි. එමෙන් ම එයට දීර්ඝ ඉතිහාසයක් ද තිබේ. පුරාණ මිසරයේ තැන්පත් කර තිබූ ඇතැම් මමිවල පවා ලාදුරු රෝගීන්ගේ ලක්ෂණ තිබූ බව කියවේ. ඒ අනුව රෝගයට ක්‍රි.පූ. 4000ටත් එහා යන ඉතිහාසයක් තිබෙන බව විශ්වාස කෙරේ.
මෙවැනි ඉතිහාසයක් තිබුණ ද රෝගකාරක බැක්ටීරියාව සොයාගනු ලබන්නේ 1873 වර්ෂයේදි ය. සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් සොයාගනු ලබන්නේ 1970 දශකයේ ය. කිවිසුම් යාමෙන්, කැස්සෙන් ආදියෙන් රෝගය බෝවෙන බැවින් රෝගීන් සමාජයෙන් ඉවත් කර දැමිණි. එකල බොහෝ සමාජවල ලාදුරු රෝගීන් හැඳින්වූයේ පව්කාරයන් ලෙස ය.
නැතිනම් දෙවියන්ගේ සාපයෙන් උපන් මිනිසුන් ලෙස ය. හැත්තෑව දශකය දක්වාම මිනිසත් බවේ ඛේදවාචකයක උරුමකරුවන් බවට මේ රෝගීන් ලක්විය. සමහර අවස්ථාවලදී මරා දැමිණි. මහ කැළෑවල් වලට ගොස් දැමිණි. හිරකරුවන් ලෙස සිර කර තැබිණි.
මේ සියල්ලෙන් මිදී පලා ගියහොත් රෝගියාගේ නම ප්‍රසිද්ධ කර නගර පුරා දැන්වීම් ඇලවිණි. මේ වධ වේදනාවලට බියවූවෝ සිය දිවි හානිකර ගත්ෙතා්ය. මේ එකල ලාදුරු රෝගීන් මුහුණ දුන් ඛේදවාචකයයි.
බටහිර ආධිපත්‍යයට ලංකාව යටත්ව පැවැති අවධියේදී ලංකාවේ පළමු ලාදුරු රෝහල ලන්දේසීන් විසින් ආරම්භ කරන ලදී. ඒ 1708 දී කොළඹ දිස්ත්‍රික්කයේ හැඳල දී ය. දෙවැන්න ආරම්භ කෙරුණේ මඩකලපු දිස්ත්‍රික්කයේ මාන්තිව් දූපතේ ය.
ප්‍රමාණයෙන් අක්කර 98 ක දූපතක් වන මාන්තිව් ලාදුරු රෝගීන් වෙනුවෙන් වෙන් කෙරිණි. එහි රෝගීන්ට අවශ්‍ය පහසුකම් ද සැකසිණි. රෝහල් සංකීර්ණයක්, නිවාස, පන්සලක්, හින්දු කෝවිලක්, ක්‍රිස්තියානි පල්ලියක් සහ ඉස්ලාම් පල්ලියක් ද මෙහි ගොඩනැඟිණි.
කෙසේ වෙතත් දැන් ලෝකය ලාදුරු අවදානමෙන් බොහෝ දුරට ඈත්වී ඇත. නව සහස්‍රය ලංකාවට එළැඹුණේ ද ලාදුරු තුරන් කළ රටක් ලෙසට ය. එහෙත් මානුෂීය අර්බුදයක් ශේෂව පවතී. එනම් තවමත් රෝහල්වල සිටින ලාදුරු රෝගීන් ය.
මාන්තිව් දූපතේ සිටින සේන ජයසූරිය සහ එස්. කුරුනාදන් ද එවැනි දෙදෙනෙකි. කුඩා අවදියේම ලාදුරු රෝගය සෑදී ඔවුහු මාන්තිව් දූපතට ගෙනත් දමති. රෝගය විසින් සේනලාගේ අත්පා ආදිය විකෘති කර තිබේ. එහෙත් දැන් මොවුහු ලාදුරු රෝගීන් නොවෙති.මේ අයට කියා දූපතේ කරන්නට ද කිසිම කාර්යක් නැත.
ඔවුන් දන්නේ ලෝකයට රැයක් දවාලක් ඇති බව පමණි. ඒ හැරුණු කොට මහ වැසි කාලවලට මේ දූපතේ විශාල කොටසක් වැස්සෙන් යටවන බවවත් ඔවුන් නොදන්නවා විය හැකිය. උතුරු- නැෙඟනහිර යුද සමයේ දී වැඩි රෝගීන් පිරිසක් මාන්තිව් දූපතේ සිටි බව කියවේ.
එහෙත් නැෙඟනහිර පළාත තුළ යුද්ධය උච්ච අවස්ථාවට පත්වන විට රෝගීන් ට බියෙන් කල් ගෙවන්නට විය. මේ නිසා බොහෝ රෝගීන් හැඳල රෝහලට ගිය බව රෝහල් සේවකයෙක් අප සමඟ පැවසීය. එහෙත්, සේන සහ කුරුනාදන් රෝහලෙන් ඉවත් නොකෙරුණු හෝ නොවුණු බව දැනගන්නට ලැබිණි.
මගේ ගෙවල් තියෙන්නේ යාපනයේ පරන්ගිනේරුවල. මට ගෙදර යන්න ඕනේ මහත්තයා. මේ අය ටිකට් කපන්නේ නෑනේ. ටිකට් කැපුවානම් ගෙදර යන්ඩ තිබ්බාකුරුනාදන් එසේ කීවද එහි සැබෑ තත්ත්වය එය නොවේ.
රෝගය සුවපත් වුව ද ඔවුන්ව බාර ගැනීමට කිසිවකු නොමැත. කුඩා කලදීම ලාදුරු රෝගියකු ලෙස හංවඩු ගසා මවුපිය නෑදෑයන්ගෙන් සහ සමස්ත සමාජයෙන් කොන්කර දමන ඔවුන්ගේ සමීපතමයෝ දැන් මිය දිලා ය. ඉතිරි ඈයන්ට ද කුරුනාදන් ගැන හැඟීමක් ඇතැයි සිතිය නොහැක. මේ නිසා හවුහරණක් නැතිව ඔහු ඔහේ ජීවත්වෙති.
·         මම බැඳලා. ගෙදර ඉන්න කාලේ කුලී වැඩයි කළේ. පස්සේ මගේ නෝනා රට ගියා.එයා ආවහම මම ආයේ ගෙදර යනවා.එයා ළඟදි ඒවිතිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සේන කතාබහට එක් වූයේ එලෙස ය.
එතකොට ළමයි හිටියේ නැද්ද?” මම ඇසුවෙමි. ළමයි හදන්න බැරිව ගියාඒ සමඟ ම අසල සිටි රෝහල් සේවකයකු තමාගේම හිසට ඇඟිල්ලකින් තට්ටු කර සේනට හොරෙන් මා වෙත සංඥාවක් නිකුත් කළේය. එයින් කියවුණේ සේන මානසික රෝගියකු බව ය.
ඇත්ත වශයෙන්ම සේන විවාහකයකු නොවේ.ඔහුට විදෙස් ගත බිරියක් සිටින බව කීම ද ඔහුගේ ම හිතළුවකි. සේන මාන්තිව් වෙත එන විට පීඩාවින්දේ ලාදුරු රෝගයෙන් පමණි. ලාදුරු සුව වුවත් ඔහු බාරගන්නට කිසිවකු ඉදිරිපත් වී නැත.
හුදෙකලා වූ ඔහුට සිහින දකිමින් කාලය ගෙවා දමනවා හැරෙන්නනට වෙන කරන්නට කිසිවක් නොතිබෙන්නට ඇත.
අවසානයේ සිහින ඔස්සේ ඔහුට උරුමවන්නට ඇත්තේ සිතුම් පැතුම් ජයගත් තරුණ ජීවිතයක් නොව, මානසික රෝගයකු වීමට ය. සේන ලාදුරු රෝගියකු වූූයේ බැක්ටීරියාවක් නිසාය. එහෙත් මානසික රෝගියකු වූයේ කාගේ වරදින් ද?
ඊළඟ කාරණය වන්නේ මේ දෙදෙනාට ඉදිරියට වන්නේ කුමක්ද යන්න ය. සමහර විට ඔවුන්ට නිදහසේ සිටීමට යැයි කියා මෙසේ ඉන්නට ඉඩ හැරියා දැයි අපි නොදනිමු. එහෙත් නිදහස යනු පාළු දූපතක හුදෙකලාව නිකං බලාගෙන සිටීමද යන්න නම් ගැටලුවකි. ඒ අතරම දූපතේ රෝහල වෙනුවෙන් ඉදිකෙරී තිබුණු ස්ථාන බොහොමයක් දැන් අබලන් ය.
ගොඩනැගිලි දෙක තුනක් පමණ රෝහල් සේවකයන් ගේ අවශ්‍යතා වෙනුවෙන් භාවිතයට ගැනේ. සමහර ගොඩනැගිලි ගරා වැටෙන්නට ඔන්න මෙන්න ය. වල් වැදිලා ය. පන්සලේ පෙනෙන්නට තිබෙන්නේ ඝන්ඨාර කුලුන පමණි. කතෝලික හා මුස්ලිම් පල්ලි ද ජරාවාස ය. හින්දු කෝවිලක් පමණක් භාවිතයට ගැනෙනුයේ රෝහල් සේවකයන් සියල්ලම පාහේ හින්දු නිසා වන්නට ඇත.
සිකුරාදාට පමණක් පූසාරිවරයකු මෙහි පැමිණ පූජා පැවැත්වුව ද, එයද බොහෝ සේ වල්වැදී ඇත. රෝහල් කාමර වල සිට කලපුව වෙත රෝගීන්ගේ මලමුත්‍රා ආදිය පිටවීමට තැනූ විශාල සිමෙන්ති කානු ද විනාශ මුඛයට ඇද වැටිලා ය.
දැනට රෝහලේ නේවාසිකව සිටින රෝගීන් දෙදෙනා වෙනුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය එකොළොස් දෙනෙකි. ඒ හැරුණු කොට රෝහල් කටයුතු වෙනුවෙන් තැපැල් ස්ථානයක් ද පිහිටුවා තිබේ. මාන්තිව් උප තැපැල් ස්ථානාධිපති ලෙස කටයුතු කරන්නේ එම්. නිර්මලා මහත්මියයි.
මෙතැන ඔෆිස් එක පටන් අරන් දැන් අවුරුදු 50-60 ක් විතර ඇති. මගේ මාමා තමයි මෙතැන මුලින් වැඩකළේ. එයාගෙන් පස්සේ මම වැඩ බාර ගත්තා. දැන් අවුරුදු 16ක් මම මෙතැන වැඩ කරනවා. සමහර දවස්වලට ලියුම් එනවා, සමහර දවස්වලට ලියුම් නෑ.
දවසකට කියලා වැඩියෙන්ම ලියුම් ආවොත් එන්නේ තුනක් විතරයි. කොහොම වුනත් හැම පහසුකමක්ම මට දීලා තියෙනවා. වැඩක් නැතිව ඉන්නකොට නම් ඉතින් හරිම කම්මැලියි. ඒත් දැන් ඒකට හුරුවෙලා හින්දා ගාණක් නෑ
සේවකයන් වන ඔවුන්ට නම් රාජකාරිය නිමවී යන්නට ගෙයක් දොරක් ඇත. නැවැතත් සේවයට එන්නට ස්ථානයක් ද තිබේ. එහෙත් සේන සහ කුරුනාදන් නම් රෝගයක් විසින් දූපතේ හුදෙකලා කල නිකම්ම නිකම් පුරවැසියන් දෙදෙනෙක් වී සිටිති. මාන්තිව් යනු සුන්දර දූපතකි.
බෝට්ටුවක නැඟී මේ දූව වටා ගිය අපට අනේක විද සුන්දර දසුන් පෙළ ගැසිණි. තරගයට මෙන් බෝට්ටුව වටේ පීනා ගිය කුඩා මාළු රංචු වූහ. ඒ අස්සේ උකුස්සකු හෝ වෙනත් කුරුල්ලකු විසින් මාළුවකු ඩැහැගනිමින් ඊයක වේගයෙන් පියඹා යයි. දියකාවෝ ගස් අතු මත වසා සිටිති.
රාත්‍රියේ සංචාරයේ නියැළුණු වවුලෝ ද එම ගසේ ම එම අත්තේ ම එල්ලී නිදන්නේ දියකාවුන්ගේම සෙවණැලි මෙනි. කිඹුලන් සිටින බවට සාක්ෂි සපයමින් මරා දමන ලද හරකකුගේ සිරුරක් ජලයේ පාවේ. මිනී මරු කිඹුලන්ගේ අවදානම ද නොතකා මාළු අල්ලන අඹුසැමි යුවළකි. ඈතින් ඈතට පෙනෙන බොහෝ දෑ සුන්දර චිත්‍රයකි. මේ සියලු සුන්දර දසුන් මැද්දේ මිනිසුන් දෙදෙනකු මරණය එනතෙක් බලා සිටීම කෙතරම් අසුන්දර ද?



ඊයක් විදින්න බැරි මුහුදු වැද්දෝ



රතු පාට හිරු කිරණ ගුරුපාට අඩිපාරට වැටුණු විට එය තවත් රත් පැහැ ගත්තේ ය. අවුරුදු හයේ හතේ පොඩිවුන් හතර පස් දෙනෙක් පාර දිගේ ඔට්ටු ‍දුවති. අඳුරු පැහැ වැටුණු උන්ගේ සෙවැණැලි ද පොඩිවුන් මෙන්ම පාර මතුපිටදීම ගැටෙති. සිමෙන්ති ගලින් තනා, උළු සෙවිල්ලන ලද නිවාසයක සිටි අයෙක් අප දෙසට ආවේ මේ ඇසිල්ලේ ය.
වාඩිවෙන්ඩ ෂෑර්මිදුලේ වූ ප්ලාස්ටික් පුටු කිහිපයක් පෙන්වූ ඔහු අපට කීවේය. අසලින්ම තිබූ පුටුවක් ඇද ගත් මම ඔහු ඉදිරියේ වාඩිවුනෙමි. දිග තෙත බරිත වූ කොණ්ඩය ගැට ගසා ගත් ඔහු පුටුවෙහි හරිබරි ගැහුනේය.
හෙතෙම වාකරේ වැදි නායක නල්ලතම්බි වේලායුදන් ය.
තවත් මොහොතකින් බටහිර සංගීතය මුසු වූ ගී තනුවක් ඇසෙන්නට විය. වම් උරයේ පොරවක් ද, දකුණු උරයේ තුවායක් ද රඳවාගෙන සිටි වැදි නායක තෙමේ ඉණෙහි ගසාගෙන උන් ජංගම දුරකතනය ගෙන එය විසන්ධි කරන්නට වූයේ මේ අතර ය.
මුහුදුවැදි නායක වෙලායුදන්
මට දහනව වැනි සියවසේ මුල්භාගයේ දී සෙලිග්මාන් දැක තිබූ වැද්දන් මතක් විය. මැටිවලින් වළං ද, ගස්වල පට්ටාවලින් මලු ද, බුලත් විඩ දමා ගැනීම සඳහා වඳුරු සමින් පසුම්බි ද ඔවුහු තනා ගත්හ. ඇතැම් ගම් වැද්දන් බුලත් විඩ දමා ගැනීම සඳහා භාවිත කළ අන්දමේ රෙදි පසුම්බි කලාතුරකින් වනවාසී වැද්දන් අතට ද පත් වුණේය.
ගම් වැද්දෝ ගැහැනු පිරිමි භේදයක් නොමැතිවම කන් පෙති සිදුරු කරගෙන සිටියෝය. ගම් වැදි ගැහැනුන් ඒ සිදුරුවල ඇත් දතින් කළ කූරු පැලඳගෙන සිටි නමුත් වන වැදි ගැහැනුන් එවැනි කිසියම් පලඳනාවක් පැලඳි බවක් නිශ්චිතව කිව නොහැකිය. දෙකොට්ඨාසයෙහි ම පිරිමින් අතර එවැනි සිරිතක් නොවී ය. වියළි දණ්ඩක් තවත් වියළි දණ්ඩකින් සාරමින් ගිනි උපදවා ගත්හ.
ජානගතව උරුම වූ කළු මිටි සිහින් දේහය ද, බාහිරින් පෙනෙන්නට තිබූ පොරෝ කෙටිය ද හැරෙන්නට වැද්දන් මේයැයි කීමට හඳුනාගතහැකි අන් කිසිවක් නම් වේලායුදන්ගෙන් බැලූ බැල්මට නම් නොපෙනේ. නැ‍ඟෙනහිර පළාතේ වාකරේ මුහුදු සීමාවේ ජීවත්වන මේ ආදිවාසී ජන කොට්ඨාසය හැඳින්වෙන්නේ මුහුදු වැද්දන් යන නමිනි. වේලායුදන් මුහුදු වැදි නායකයා ය.
ලංකාවේ විවිධ ප්‍රදේශවල ආදි වාසීන් ජීවත් වේ. ඒ අතරින් මුහුදු වැද්දන් ලෙස හඳුන්වන්නේ නැ‍ඟෙනහිර පළාතේ වෙරළබඩ වෙසෙන ආදිවාසින් ය. ඉතිහාස කතාවට අප යොමුවුනහොත්, විජය විසින් කුවේණියගේ ඥාති වර්ගයා මරා දමන අවස්ථාවේ ශරීර ශක්තියෙන් අනූන වූවෝ දිවයිනේ විවිධ තැන්වලට වැදී පණනල බේරා ගත් බව කියැවේ. එලෙස නැ‍ඟෙනහිර ප්‍රදේශයට පැමිණි පිරිසෙන් පැවැත එන පිරිස මොවුන් බව විශ්වාස කෙරේ.
අපි ජීවත් වෙන්නේ මුහුද අයිනේ. මුහුදත් එක්ක අපේ ජීවිතේ බැඳීමක් තියෙනවා. ඒ හින්දා තමයි අපිට මුහුදු වැද්දෝ කියන්නේවැදි නායකයා තම වර්ගයා ගැන කියන්නේ එලෙස ය.
කෙසේ වෙතත් ඔහු පවසන්නේ වෙනත් වැදි ජනතාව ගැන තමා දැන ගත්තේ මෑත කාලීනව බවයි.
අපි කලින් අහලා තිබුණා අපේ වර්ගයේ කට්ටිය රටේ වෙනත් තැන්වලත් ඉන්නවා කියලා. ඒත් යුද්දෙ ඉවර වුණාට පස්සෙ තමයි ඒ අය කවුද කියල හරියට දැන හැඳිනගත්තේ.
වේලායුදන් කියන පරිදිම මුහුදු වැද්දන් පිළිබඳ කතා බහට ජන සමාජය විවෘත වන්නේ උතුරු - නැ‍ෙඟනහිර යුද්ධය අවසන් වූ පසුව ය. ඊට පෙර අවස්ථාවලදී මුහුදුකරයේ වෙසෙන ආදිවාසීන් ගැන කතාබහ කෙරිණි.
එහෙත් යුද්ධය පැවැති කාලයේ මේ ජනකොට්ඨාසය සමාජයෙන් දුරස් කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස මුහුදු වැද්දන් කියා කොටසක් රටේ සිටියා දැයි සියල්ලන්ටම අමතකව ගොස් තිබිණි. එසේ සමාජයෙන් වැසී ගිය
මේ ආදිවාසීන් පිළිබඳ මෑත කතාබහ ඇතිවූයේ මෙලෙසින් බව වැදි නායකයා අප සමඟ කියයි.
යුද්දෙ තිබ්බ කාලේ අපිව ආලංකුලම් අනාථ කඳවුරට ගිහින් දැම්මා. අපිට ඒ අය ගෙනිහිල්ලා කන්න දීලා ති‍යාගෙන හිටියා. අපි කැළයත් එක්ක ජීවත්වුණු මිනිස්සු, අපිට එතැන එපා වුණා. ඊටපස්සේ මම කිහිපදෙනකුත් එක්කලා ගම් පැත්තට ආවා දඩයම් කරන්න.
දඩයම් කරලා මසුත් එක්ක යනකොට හමුදාවෙන් අපිව අල්ලා ගත්තා. විස්තර ඇහුවා. අපි කිව්වා අපි වැද්දෝ දඩමස් ගේන්න ගියා කියලා. ඒ අය නැ‍ඟෙනහිර පළාතේ වැද්දෝ ඉන්නවා කියලා විශ්වාස කළේ නෑ. පස්සේ අපිව ලොකු මහත්තයෙක් ගාවට අරන් ගියා. එතෙන්දි විස්තර අහලා ඉවරවෙලා ඒ අය අපිව ගෙනල්ලා ආපහු පදිංචි කළා.
පස්සේ යුද්දෙ ඉවර වුණාම අපි ගැන කට්ටිය කතාකළා. කොළඹ සාකච්ඡාවකට ගිය වෙලාවකදීයි අපේ අනික් ආදිවාසීන් දැක ගන්න ලැබුණේ. එතකන් අපි කවදාවත් ඒ අය ගැන අහලා තිබුණට දැකලා තිබුණේ නෑ.
එතෙනින් ආරම්භ වූ මුහුදු වැද්දන්ගේ නූතන කතාබහ දැන් විවිධ ඉසව්ව ඔස්සේ අවධානයට ලක්වේ.
මුහුදු වැද්දන් තරම් පීඩාවට පත්වූ ආදි වාසී ජනකොට්ඨාසයක් සමාජයේ නොමැති තරම් ය. උතුරු, නැ‍ඟෙනහිර පැවැති යුද්ධයේදී ඔවුහු එහි ඍජු ගොදුරු බවට පත්වූහ. එල්. ටී. ටී. . සාමාජිකයන් හිඟ වන විට වැදි සාමාජිකයන් ද බලෙන්ම යුද්ධයට සම්බන්ධ කර ගත්හ.
කෙසේවෙතත් වැදි සමාජයට අයිතිවීම නිසා එල්. ටී. ටී. . ය තුළ ද යම් යම් වෙනස් කම්වලට ඔවුහු ලක්වූහ. යුද්ධයේදී සමහර පිරිස් මියගිය අතර, ‍ඇතැමුන් පුනරුත්ථාපන කඳවුරුවලට යැවිණි.
තවත් විටක සුනාමිය පැමිණියේ ද වෙරළබඩ ආදිවාසීන් බොහොමයකට ජීවිතය ද, උන්හිටි තැන් ද අහිමි කරමිනි. අද දවසේ ඔවුහු නියඟයේ ද ගොදුරු වී ඇත.
ජීවත් වෙන්න හරිම අමාරුයි. පෑවිල්ල නිසා මේ දවස්වල වතුර නැහැ. ඒ නිසා කුඹුරු අතහැරියා. ගොවිතැන් මැරුණා. වැව හිඳිලා. ඒ හින්දා මාළු අල්ලන්නත් බෑ.
කැලේ මල් පිපෙන්නේ නෑ. මල් පිපිලා තිබුණා නම් මී මැස්සෝ මී වද හදනවා. මේ ඔක්කොම විනාශ වෙනවා. ඉතින් කොහොමද ජීවත්වෙන්නේවැදි නායකයා කියයි.
එතකොට දඩයම්?”
මම ඔහුගෙන් ඇසුවෙමි. ඔහු නිහඬ ය. ඒ නිහඬ බව බිඳින්නට මම සැරෙසත්ම ඔහු උගුර පාද ගන්නට සැරසුණේය.
අපේ අය දැන් දුන්න ඊතලේ පාවිච්චි කරන්නේ නෑමහත් විස්මයකි.
දුනු ඊතල නැති වැද‍්දෝමගේ හිතට නැඟිණි.
අපේ අයට දැන් දුන්නෙන් විදලා සතෙක් මරාගන්න ශක්තිය නෑ. ඒ අයගේ ශරීර ශක්තිය හොඳටම හීනවෙලා.
තුවක්කු පාවිච්චියක් තියෙනවනේ?”
මොන තුවක්කු ද ෂෑර්. අපිට තිබුණු ලයිෂන් තුවක්කු යුද්දෙ කාලේ ආපහු ගත්තා. දැන් අපි මදු තියනවා. නැත්නම් උලෙන් අනිනවා. එහෙමයි දඩමස් හොයා ගන්නේ.
වෙරළබඩ ආදිවාසීන් සතුන් ඇල්ලීම සඳහා අද ප්‍රධාන වශයෙන්ම භාවිත කරන්නේ මදු දැමීම සහ හෙල්ලෙන් ඇන මැරීම ය. බයිසිකල් හෝ ත්‍රීවීල් කේබල් යොදා මද්ද සාදාගන්නා ඔවුහු එය සතුන් දඩයමට භාවිත කරති. නොමැතිනම් ඉත්තෑවා, කැබැල්ලාවා බෙන හාරා උලකින් ඇන මරා ගන්නා බව ආදිවාසීහු කියති.
දැන් මේගොල්ලෝ සත්තු අල්ලන එකත් තහනම් කරලා. සත්තු මරලා අහුවුණොත් පොලිසියෙන් අල්ලනවා. දඩ ගහනවා.
මම පොලිසියේ ෂෑර්ලටත් කිව්වා. අපි වැද්දෝ ෂෑර්. අපි මී කපන්න ඕනේ. දඩයම් කරන්න ඕනේ. එහෙම නැතිව අපිට ජීවත්වෙන්න බෑ. පොලිසියේ ෂෑර්ලා කොච්චර අල්ලුවත් අපේ වැදිකම නවත්වන්න බෑ. අපි දිගටම මේවා කරනවාවිටක ඔහුගේ හඬ උච්ච ය. තවත් විටක ඉතාමත් පසුගාමී ය.
එක එල්ලේම අප දෙස බලාගෙනම හිටි ඔහුගේ ඇස් ඔට්ටු දුවන පොඩිවුන් දෙසට දිවයයි.
පොඩි ඈයෝ මන්දිරම් කුලම් ඉස්කෝලෙට යනවා. ඒත් එතැන ඉගෙනුම අඩු මට්ටමක තියෙන්නේ. දහයේ පන්තියට යනකම් පන්ති තියෙනවා. ළමයි 300 - 400ක් විතර ඉන්නවා. ඒත් ගුරුවරු ඉන්නේ හත්දෙනයි.
කිසියම් ජාතියක හෝ ගෝත්‍රයක අනන්‍යතාව රඳා පවතින්නේ භාෂාව මත යැයි බොහෝවිට කියවෙන දෙයකි. එහෙත් මේ ආදිවාසී දරුවන් වැදි බස වහරන්නේ නැත. ඇත්තටම දරුවන් පමණක් නොව වැඩිහිටියන් ද වැදි භාෂාව කතා නොකරති.
අපේ ළමයි හැමෝම දෙමළ තමයි කතා කරන්නේ.
ඇයි වැදි භාෂාව, එතකොට දෙමළ කතා කරන්නේ කොයි කාලේ ඉඳලද?”
අපි දන්න කියන කාලේ ඉඳන් දෙමළ තමයි කතා කරන්නේ. ඉස්කොලේ ගිහින් ඉගෙන ගන්නෙත් දෙමළ භාෂාවෙන්. වයසක අයගෙනුත් වැදි භාෂාව පුළුවන් ටික දෙනයි ඉන්නේ. ඒත් අපි කතාකරන්නේ දෙමළ. දෙවියන් ගාවදි විතරයි අපි වැදි භාෂාවෙන් කතා කරන්නේ.
එසේ කී ඔහු පුටුවෙන් නැඟිට්ටේ පෙච්චිමුත්තු මාරියන් දෙස බලමිනි. බුලත්විඩක් හපමින් සිටි මාරියන් ද වාඩිවී සිටි ලී කොටයෙන් නැඟිට්ටේය.
අපට ද ඔහු සමඟ පැමිණෙන්නැයි නොදොඩා සංඥා කරමින් වැදි නායකයා ගුරු පාරට බැස්සේය. පාරට ඔබ්බෙහි වැටක් ගසා කොටු කළ බිමකි.
එහි කුඩා මඩුවකි. මඩුව ඉදිරියට වන්නට කොඩි ගසකි. මේ වැදි ජනතාව දෙවියන් වඳින ස්ථානය බව පසක් වූයේ අප මඩුව තුළට ඇතුළු වූ මොහොතේ ය.
ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්න. පොඩි දරුවන් ව ආරක්ෂා කරගන්න. කැළේ යනකොට අපිට අනතුරු වෙනවා. අලියා, වලහා, සර්පයා වගේ සත්ත්තු හම්බ වෙනවා. උන්ගෙන් ආරක්ෂා වෙන්න ඕනේ. දඩයම් ලැබෙන්න ඕනේ. මී පැණි, බඹර පැණි කරදරයක් නැතිව ලබාගන්න ඕනේ.
මේ වෙනුවෙන් අපි දෙවියන් යදිනවා, පඬුරු බඳිනවා. දෙවියන්ට ආවේශ වෙලා නටනවා. මෙ තැන තමයි අපි දෙවියන් වෙනුවෙන් නටන තැනවැදි නායකයා කියයි. දේවාලය ඇතුළේ තිබූ භාණ්ඩ කිහිපයක් ඔහු අපට පෙන්වයි.
මේවා කිරි අම්මලාගේ දේවල්.
වැදි ජනතාව අතර ප්‍රචලිත වන්දනා කිහිපයකි. යකුන් ඇදහීම, කිරිඅම්මා ඇදහීම, මළවුන් ඇදහීම ඒ අතර ප්‍රධාන ය. මෙයින් මුහුදු වැදි ජනතාව අතර වඩාත් ප්‍රචලිතව ඇත්තේ කිරි අම්මා ඇදහීම ය. එහෙත් දේවාලයේ තිබෙන දේවරූප හින්දු දෙවිවරුන් ට අයත් ය.
අපි දෙවියො වඳින තැන හොඳට හදලා දෙන්න කියලා ඉල්ලලා තියෙනවා. මොකද මෙතැන අපිට ඉඩකඩ මදි. ‍මම සැලැස්ම ඇඳලා නිලධාරි මහත්වරුන්ට විස්තර කරලා මේ ගැන කිව්වා. මම මේ මහත්තලාට කිව්වා මගේ පණ තියෙන කාලේ මේක කරලා දෙන්න කියලා.
ඒත් තවම ඒකට උත්තර නැහැ.එක ගැම්මටම වේලායුදන් කියාගෙන කියාගෙන ගියේය. වේදනාවක් මුසු වූ ආවේගයක් ද එහි විය. මොහොතක් නිහඬව දෙවියන් දෙස බලා සිටි ඔහු දේවාල භූමියේ කඩුල්ල පැන නිවෙස වෙත පිය මැන්නේය.
හෝරාවක්, දෙකක් ගතවී තිබේ. රතු පාටට ගිනි ගෙන තිබූ හිරු අඳුරේ ගිලෙන්නට බොහෝ ළං ව ඇතැයි අපට හැ‍ඟේ. රතු රිවි කිරණේ පහස ලැබූ අඩිපාර ද තව මොහොතකින් අඳුර වෙළාගනු ඇත. ඔට්ටු දිවූ පොඩිවුන් ද නිවෙස්වලට යන්නට ඇත. අපි ද ආපසු හැරුනෙමු.
ගිහින් එන්ඩ ෂෑර්
අප දෙස බලා එසේ කී වේලායුදන් බලාපොරොත්තුවක් පමණක් ඉතිරි වූ මිනිසෙකි.                                     



.