වසර
පනහක් ඔබව තුටු කළ මර්සි
අද ඔබෙන් ආදරය ඉල්ලයි
(රෝගාතුරුව සිටි මර්සි එදිරිසිංහ මහත්මිය මිය යාමට මාස තුනකට පෙර අප හමුවූ අවස්ථාවකි)
(රෝගාතුරුව සිටි මර්සි එදිරිසිංහ මහත්මිය මිය යාමට මාස තුනකට පෙර අප හමුවූ අවස්ථාවකි)
එකකට එකක් නොදෙවැනි ලෙස වේගයෙන් ඇදෙන වාහන කොළඹ - නුවර පාරේ කෑමොර දෙන්නේ
අඳෝනාවක් ලෙසිනි. කිසි දිනක නැවතීමක් තියේ යැයි නොසිතෙන මේ අඳෝනා ඔස්සේ පැමිණි අප
නැවතුණේ අඹේපුස්ස නගරයට මඳක් ඔබ්බෙනි.
“හෙළ බොජුන් හළ”
ඒ අසල පුවරුවක
සටහන් වී තිබිණි.
පිටතින් භෝජන
කුටියක් ලෙසින් පෙනුණද එහි පසෙක පිරිසකට පදිංචි විය හැකි නිවෙසකි.
“ආ වාඩිවෙන්න මම අක්කට එන්න කියන්නම්” නිවෙසට ඇතුළු වෙත්ම ගෙහිමි කාන්තාවක අපට කීවාය. නිවෙසේ
බිත්ති මත පිළිවෙළට තැබූ ඡායාරූප පෙළකි.
ඒ සමඟම තවත්
පසෙක අපිළිවෙළට තැබූ සම්මාන රැසකි. මේ ඡායාරූප ද,
සම්මාන ද
නිහඬය. එහෙත් සේ සේයාරුවෙන් සේයාරුව ද,
සම්මානයෙන්
සම්මානය ද දිගු කතාවක් කියමින් තිබෙන සුවිශේෂ සංකේත සමුදායකි.
කුඩයක් ඉහළා
ගත් ඇය වේදිකාවේ ඒ මේ අත ඇවිද යයි. තවත් විටක ඒ කුඩය ඇගේ අතින් කරකැවෙන්නේ ගමනේ
වේගයට සමපාත වන්නාක් මෙනි. ඒ අතරින් ඇය ගයන්නට ද පටන් ගනී.
“මඩේ ලගින තාරාවුන් නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජමුතු අරගන්නදමං
චපල හිමිට සිරියහනේ රැවටෙන්නද මං
එහෙම කළොත් ඔබ කියාවි මෝඩ ගෑනි මං
ඌරු දළෙන් මොන ගජමුතු අරගන්නදමං
චපල හිමිට සිරියහනේ රැවටෙන්නද මං
එහෙම කළොත් ඔබ කියාවි මෝඩ ගෑනි මං
ලූෂන්
බුලත්සිංහලයන්ගේ “තාරාවෝ ඉගිලෙති” වේදිකා නාට්‍යයේ මේ ගීතය වෙත අප රැගෙන ගියේය. ඇය කවුදැයි
හඳුනා ගැනීමට ද එයම ප්‍රමාණවත් ය. ඕ නමින් මර්සි එදිරිසිංහ ය.
අදින් වසර 50 කට පෙර එනම්,
1964 වසරේ දිනකදී
ගුවන් විදුලියේ “නවක මඬල” වැඩසටහනට දායක වෙමින් ඇය රංගන දිවිය ආරම්භ කළාය. 1966 දී “ඒ” ශ්‍රේණියේ ගුවන් විදුලි ශිල්පිනියක වීමට සමත් වූ ඇය එම වසරේම
වැලිකල රත්නයන්ගේ “උගුරට හොරා බෙහෙත්” නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ විය.
පසු කාලීනව
සුගතපාල සිල්වා සූරීන්ගේ නිල් කට්රොල් මල්,
දුන්න දුනු
ගමුවේ, හිත හොඳ අම්මණ්ඩි, තුරඟ සන්නිය,
මුතු කුමාරි, නන්දි විසාලා,
හරිම බඩු හයක්, ප්‍රැන්සිස් වන්නිආරච්චිගේ “රෑ රැජිනට දරු සම්පත්”, පතිරාජ එල්.
එස්. දයානන්දයන්ගේ “කවුරුවත් එන්නේ නෑ”, ඩග්ලස් සිරිවර්ධනගේ “අඹුසැමියෝ” ඇතුළු තවත් නාට්‍ය රැසකම චරිත නිරූපණය කළාය. ඒ හැරුණුකොට
නාට්‍ය කිහිපයකටම නිෂ්පාදනයෙන් ද දායක වූවාය.
70 දශකයේදී සුගතපාල සිල්වා ශූරින් අතින්
සමාජ සංවාද රීතියේ නාට්‍ය කලාවක් බිහිවිය. ඒ ස්වභාවික නාට්‍ය කලාවේ ප්‍රතිභා
පූර්ණතම නිළියක් ලෙස එකල ඇය විචාරකයන්ගේ නොමඳ පැසසුමට ද ලක්විය. මේ නිසාමදෝ 1974 වර්ෂයේදී ආර්. ආර්. සමරකෝන් මහතාගේ “ඉඩම” නාට්‍ය වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උළෙලේ
දී හොඳම නිළිය සම්මානයට ද පාත්‍ර විය.
|
|
අද
|
පසුව 1975, 1976 දෙවර්ෂයන්හිදී ද ඇරඹි පිළිවෙළින් කීරගල ආරච්චිගේ “තහනම් දේශය” සහ හේමසිරි ලියනගේ ගේ “නරියා සහ කේජු” වෙනුවෙන් හොඳම නිළිය සම්මානය ලැබුවාය.
නාට්‍ය කලාව තුළදී එදිරිසිංහ මහත්මිය ලබා තිබූ ප්‍රතිභාව නිසාම නාට්‍ය බෙහෙවින්
ජනප්‍රිය විය. බොහෝ දර්ශන වාර ගණනක් ද වේදිකා ගතකෙරිණි. මේ නිසා බොහෝ විචාරකයන්
ඇය වාසනාවන්ත නිළියක් ලෙස ද හඳුන්වා දී තිබිණි.
ගුවන් විදුලි
නාට්‍ය ක්ෂේත්‍රයට ද නැතිවම බැරි චරිතයක් වූ ඇය සතියේ දින 5ක් ම ගුවන් විදුලි නාට්‍යවලට දායක වූ යුගයක් ද විය. ඒ අනුව සඳුදාට මුවන්
පැලැස්ස ය. අඟහරුවාදාට වජිරා ය. බදාදාට සමනල බැද්ද ය.
බ්‍රහස්පතින්දාට
ඇස් දෙක ය. සිකුරාදාට හන්දියේ ගෙදර ය. මේ සියල්ල ඇය ඉහළ ජනප්‍රසායක් දිනාගත්තාය.
ඇනස්ලි, බර්ටි,
සැමුවෙල්
සුසංයෝගය සමඟ එක්ව ගෙනා වැඩසටහන් ද ඈ පිළිබඳ අපගේ ඇති සුවිශේෂ මතකයන් ය.
නිවෙසේ බිත්ති
මත වූ ඒ ඡායාරූප පෙළගැස්ම වසර 50 ක රංගන දිවියේ
ඇගේ සුවිශේෂීත්වය අපට මතක් කර දෙමින් සිටියේය. මේ අතරම ඇයගේ සොයුරියන් දෙදෙනා ඇය
වත්තන් කරගෙන අප සිටි ස්ථානයට පැමිණියේය. මම බෙහෙවින් වික්ෂිප්ත වීමි.
“මට අසනීප වුණානේ”
මෙතෙක් වේලා
මහත් උනන්දුවෙන් බලා සිටි සියලු පින්තූර පරාජිත බවක් හැඟෙන්නට විය. ඇය රෝගාතුර වී
ඇතත් මෙවැනි තත්ත්වයක ඇතැයි අප කිසිසේත්ම බලාපොරොත්තු නොවුණේය. ඕ බොහෝ සේ දුර්වල
ගතින් සිටියාය. එහෙත් දිරිගත් ඇය අප සමඟ කතාබහට එක්වන්නට විය.
“2012 අවුරුද්දේ මට ඔපරේෂන් එකක් කරන්න
සිද්ධ වුණා. එතැනින් පස්සේ තමයි මේ ඔක්කොම කරදර එන්න පටන් ගත්තේ. හැබැයි මම පස්සේ
ඉඳුවරී, ආමන්දා කියන නාට්‍ය දෙකෙත් රඟපෑවා. ඔය
අතරෙදී මගේ අමාරුව එන්න එන්නම වැඩිවුණා.
එක තැනකට වෙලා
ඉන්න බැහැ කොන්ද රිදෙනවා. ඇවිදින්නත් අමාරුයි. වේදනා නාශක ගත්ත කියලත් විශේෂ
අඩුවක් වෙන්නේ නෑ. දොස්තර මහත්තුරුන්ටත් රෝග නිධානය හොයාගන්න අමාරුයි කියනවා. අද
(සිකුරාදා) තවත් වාර්තාවක් එන්න තියෙනවා. අනික මේ මෙඩිකල් ටෙස්ට්වලට ඉඳලම මට දැන්
එපාවෙලා තියෙන්නේ.”
කලා ක්ෂේත්‍රයේ
බොහෝ දෙනකු ඈ වෙනුවෙන් බොහෝ උදව් උපකාර කරන බව ද ඇය පැවසුවාය.
“ඇත්තෙන්ම ෆීල්ඩ් එකේ අය මට ගොඩක් උදව්
කරනවා. මම වෙනුවෙන් ලබන මාර්තු 3 වැනිදාට ටවර්
හෝල් රඟහලේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ ඇරුණම ඒ අය කතා කරනවා. නොයෙක් ආගමික
සෙත් ශාන්ති මා වෙනුවෙන් පවත්වනවා.”
ජනතාවගේ ආදරය
දිනාගත් රංගන ශිල්පිනියක් වූ ඇය සිය ප්‍රේක්ෂක සහෘදයන් ගැන ද මෙසේ කීවේ මහත් වූ
ගෞරවයෙනි.
“රෝගී තත්ත්වය නිසා මම ආර්ථික වශයෙනුත්
හුඟක් පිරිහුණා. දැන් රජයේ රෝහලින් තමයි බෙහෙත් ගන්නේ. මේවාට මගේ රසිකයෝ හුඟ
දෙනෙක් මට ආධාර කරලා තියෙනවා. ඇත්තෙන්ම මටම පුදුමයි මිනිස්සු මට ෙමච්චර ආදරේ කළාද
කියලා. සමහරු මට කතා කරනවා. ලිපි ලියනවා.
බෝධි පූජා
පවත්වනවා. යාච්ඤා කරනවා. සමහරු මගේ ගිණුමට මුදල් දාලා තියෙනවා. සමහරු ඒ අයට හැකි
පමණක් කියලා මට මුදල් දුන්නේ. ඇත්තෙන්ම මට මේ අය දීපු මුදල නොවේ වටින්නේ ඒ
මිනිස්සුන්ගේ ප්‍රාර්ථනාවයි. ඒ අය කියන්නේ ඉක්මනට සුව වෙන්න කියලයි. ඒ ප්‍රාර්ථනාවම
මට ඇති. මිනිස්සු මට ගොඩක් ආදරේ කරලා කියලා මට හොඳටම දැනෙනවා. ඇත්තෙන්ම ඔවුන්ට
ගොඩාක් ස්තූතියි මට දක්වන ආදරයට.”
“වෙලාවකට හිතෙනවා මේක දෙවියන්ගේ
කැමැත්ත වෙන්න ඇති කියලා. දෙවියෝ හිතන්න ඇති මාව ටිකක් කොටු කරලා තියන්න. ඒත් මම
හිතනවා උන්වහන්සේ කොයි වෙලාවක හරි මාව ආයෙත් මේ කොටුකරලා තියෙන එකෙන් නිදහස් කරාවි
කියලා” ඇය බලාපොරොත්තු සහගතව කියයි.
බොහෝ දේ
විමසන්නට ඇතත්, කෙටි කතාබහකට සීමාවෙන්නට අප තීරණය කර
සිටියේ ඇගේ රෝගී තත්ත්වය නිසාය. වේදනාවෙන් පීඩිතව සිටියද ඇය ඇයගේ රසික රසිකාවන්ගේ
ආදරය ගැන මෙනෙහි කරන්නේ මහත් සතුටකිනි. අපගේ කතාබහ අවසානයේ ඇය මෙවැනි ඉල්ලීමක්
අපගෙන් කළාය.
“මගේ රසික රසිකාවියන් වෙනුවෙන් මේකත්
ලියන්න”
“ලබන මාර්තු 03 වැනිදා රූපවාහිනී සංස්ථාවේ “හඬ නළු එකමුතුව” රැස්වෙලා ටවර් හෝල් එකේ මම වෙනුවෙන්
වැඩසටහනක් කරනවා. මගේ රංගන ජීවිතේ ගෙවුණු වසර 50 සමරන්නත්
එක්කයි ඒක කෙරෙන්නේ. මගේ රසික රසිකාවියන්ට කියන්න “ඒගොල්ලො එනකම්
මම බලන් ඉන්නවා” කියලා.
පුරා වසර 50 ක් වේදිකාව,
ගුවන් විදුලිය, රූපවාහිනිය,
සිනමාව ආදී
ක්ෂේත්‍ර රැසක සුවිශේෂ දස්කම් පෑ ඒ රංගන ශිල්පිනිය ඉක්මන් සුවය ලබා නැවතත් අප අතරට
ඒවි යැයි ප්‍රේක්ෂකයෝ ද බලාපොෙරාත්තු ෙවති. ඔවුන්ගේ ද ප්‍රාර්ථනය,
“මර්සි අපි ද ඔබ එන තෙක් බලා
ඉඳිමු” යන්න
වනු නොඅනුමානය.
මලික්
චමින්ද ධර්මවර්ධන
2014 ජනවාරි 24 වැනිදා දිනමිණ පුවත්පතෙනි




No comments:
Post a Comment