Sunday, 23 August 2015



වසර පනහක් ඔබව තුටු කළ මර්සි
 අද ඔබෙන් ආදරය ඉල්ලයි
(රෝගාතුරුව සිටි මර්සි එදිරිසිංහ මහත්මිය මිය යාමට මාස තුනකට පෙර අප හමුවූ  අවස්ථාවකි)
එකකට එකක් නොදෙවැනි ලෙස වේගයෙන් ඇදෙන වාහන කොළඹ - නුවර පාරේ කෑමොර දෙන්නේ අඳෝනාවක් ලෙසිනි. කිසි දිනක නැවතීමක් තියේ යැයි නොසිතෙන මේ අ‍ඳෝනා ඔස්සේ පැමිණි අප නැවතුණේ අඹේපුස්ස නගරයට මඳක් ඔබ්බෙනි.
හෙළ බොජුන් හළ
ඒ අසල පුවරුවක සටහන් වී තිබිණි.
පිටතින් භෝජන කුටියක් ලෙසින් පෙනුණද එහි පසෙක පිරිසකට පදිංචි විය හැකි නිවෙසකි.
ආ වාඩිවෙන්න මම අක්කට එන්න කියන්නම්නිවෙසට ඇතුළු වෙත්ම ගෙහිමි කාන්තාවක අපට කීවාය. නිවෙසේ බිත්ති මත පිළිවෙළට තැබූ ඡායාරූප පෙළකි.
ඒ සමඟම තවත් පසෙක අපිළිවෙළට තැබූ සම්මාන රැසකි. මේ ඡායාරූප ද, සම්මාන ද නිහඬය. එහෙත් සේ සේයාරුවෙන් සේයාරුව ද, සම්මානයෙන් සම්මානය ද දිගු කතාවක් කියමින් තිබෙන සුවිශේෂ සංකේත සමුදායකි.
කුඩයක් ඉහළා ගත් ඇය වේදිකාවේ ඒ මේ අත ඇවිද යයි. තවත් විටක ඒ කුඩය ඇගේ අතින් කරකැවෙන්නේ ග‍මනේ වේගයට සමපාත වන්නාක් මෙනි. ඒ අතරින් ඇය ගයන්නට ද පටන් ගනී.
මඩේ ලගින තාරාවුන් නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජමුතු අරගන්නදමං
චපල හිමිට සිරියහනේ රැවටෙන්නද මං
එහෙම කළොත් ඔබ කියාවි මෝඩ ගෑනි මං
ලූෂන් බුලත්සිංහලයන්ගේ තාරාවෝ ඉගිලෙතිවේදිකා නාට්‍යයේ මේ ගීතය වෙත අප රැගෙන ගියේය. ඇය කවුදැයි හඳුනා ගැනීමට ද එයම ප්‍රමාණවත් ය. ඕ නමින් මර්සි එදිරිසිංහ ය.
අදින් වසර 50 කට පෙර එනම්, 1964 වසරේ දිනකදී ගුවන් විදුලියේ නවක මඬල‍වැඩසටහනට දායක වෙමින් ඇය රංගන දිවිය ආරම්භ කළාය. 1966 දී ශ්‍රේණියේ ගුවන් විදුලි ශිල්පිනියක වීමට සමත් වූ ඇය එම වසරේම වැලිකල රත්නයන්ගේ උගුරට හොරා බෙහෙත්නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ විය.
පසු කාලීනව සුගතපාල සිල්වා සූරීන්ගේ නිල් කට්රොල් මල්, දුන්න දුනු ගමුවේ, හිත හොඳ අම්මණ්ඩි, තුරඟ සන්නිය, මුතු කුමාරි, නන්දි විසාලා, හරිම බඩු හයක්, ප්‍රැන්සිස් වන්නිආරච්චිගේ රෑ රැජිනට දරු සම්පත්”, පතිරාජ එල්. එස්. දයානන්දයන්ගේ කවුරුවත් එන්නේ නෑ”, ඩග්ලස් සිරිවර්ධනගේ අඹුසැමියෝඇතුළු තවත් නාට්‍ය රැසකම චරිත නිරූපණය කළාය. ඒ හැරුණුකොට නාට්‍ය කිහිපයකටම නිෂ්පාදනයෙන් ද දායක වූවාය.
70 දශකයේදී සුගතපාල සිල්වා ශූරින් අතින් සමාජ සංවාද රීතියේ නාට්‍ය කලාවක් බිහිවිය. ඒ ස්වභාවික නාට්‍ය කලාවේ ප්‍රතිභා පූර්ණතම නිළියක් ලෙස එකල ඇය විචාරකයන්ගේ නොමඳ පැසසුමට ද ලක්විය. මේ නිසාමදෝ 1974 වර්ෂයේදී ආර්. ආර්. සමරකෝන් මහතාගේ ඉඩමනාට්‍ය වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උළෙලේ දී හොඳම නිළිය සම්මානයට ද පාත්‍ර විය.







අද
පසුව 1975, 1976 දෙවර්ෂයන්හිදී ද ඇරඹි පිළිවෙළින් කීරගල ආරච්චිගේ තහනම් දේශයසහ හේමසිරි ලියනගේ ගේ නරියා සහ කේජුවෙනුවෙන් හොඳම නිළිය සම්මානය ලැබුවාය. නාට්‍ය කලාව තුළදී එදිරිසිංහ මහත්මිය ලබා තිබූ ප්‍රතිභාව නිසාම නාට්‍ය බෙහෙවින් ජනප්‍රිය විය. බොහෝ දර්ශන වාර ගණනක් ද ‍වේදිකා ගතකෙරිණි. මේ නිසා බොහෝ විචාරකයන් ඇය වාසනාවන්ත නිළියක් ලෙස ද හඳුන්වා දී තිබිණි.
ගුවන් විදුලි නාට්‍ය ක්ෂේත්‍රයට ද නැතිවම බැරි චරිතයක් වූ ඇය සතියේ දින 5ක් ම ගුවන් විදුලි නාට්‍යවලට දායක වූ යුගයක් ද විය. ඒ අනුව සඳුදාට මුවන් පැලැස්ස ය. අඟහරුවාදාට වජිරා ය. බදාදාට සමනල බැද්ද ය.
බ්‍රහස්පතින්දාට ඇස් දෙක ය. සිකුරාදාට හන්දියේ ගෙදර ය. මේ සියල්ල ඇය ඉහළ ජනප්‍රසායක් දිනාගත්තාය. ඇනස්ලි, බර්ටි, සැමුවෙල් සුසංයෝගය සමඟ එක්ව ගෙනා වැඩසටහන් ද ඈ පිළිබඳ අපගේ ඇති සුවිශේෂ මතකයන් ය.
නිවෙසේ බිත්ති මත වූ ඒ ඡායාරූප පෙළගැස්ම වසර 50 ක රංගන දිවියේ ඇගේ සුවිශේෂීත්වය අපට මතක් කර දෙමින් සිටියේය. මේ අතරම ඇයගේ සොයුරියන් දෙදෙනා ඇය වත්තන් කරගෙන අප සිටි ස්ථානයට පැමිණියේය. මම බෙහෙවින් වික්ෂිප්ත වීමි.
මට අසනීප වුණානේ
මෙතෙක් වේලා මහත් උනන්දුවෙන් බලා සිටි සියලු පින්තූර පරාජිත බවක් හැඟෙන්නට විය. ඇය රෝගාතුර වී ඇතත් මෙවැනි තත්ත්වයක ඇතැයි අප කිසිසේත්ම බලාපොරොත්තු නොවුණේය. ඕ බොහෝ සේ දුර්වල ගතින් සිටියාය. එහෙත් දිරිගත් ඇය අප සමඟ කතාබහට එක්වන්නට විය.
“2012 අවුරුද්දේ මට ඔපරේෂන් එකක් කරන්න සිද්ධ වුණා. එතැනින් පස්සේ තමයි මේ ඔක්කොම කරදර එන්න පටන් ගත්තේ. හැබැයි මම පස්සේ ඉඳුවරී, ආමන්දා කියන නාට්‍ය දෙකෙත් රඟපෑවා. ඔය අතරෙදී මගේ අමාරුව එන්න එන්නම වැඩිවුණා.
එක තැනකට වෙලා ඉන්න බැහැ කොන්ද රිදෙනවා. ඇවිදින්නත් අමාරුයි. වේදනා නාශක ගත්ත කියලත් විශේෂ අඩුවක් වෙන්නේ නෑ. දොස්තර මහත්තුරුන්ටත් රෝග නිධානය හොයාගන්න අමාරුයි කියනවා. අද (සිකුරාදා) තවත් වාර්තාවක් එන්න තියෙනවා. අනික මේ මෙඩිකල් ටෙස්ට්වලට ඉඳලම මට දැන් එපාවෙලා තියෙන්නේ.
කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු ඈ වෙනුවෙන් බොහෝ උදව් උපකාර කරන බව ද ඇය පැවසුවාය.
ඇත්තෙන්ම ෆීල්ඩ් එකේ අය මට ගොඩක් උදව් කරනවා. මම වෙනුවෙන් ලබන මාර්තු 3 වැනිදාට ටවර් හෝල් රඟහලේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ ඇරුණම ඒ අය කතා කරනවා. නොයෙක් ආගමික සෙත් ශාන්ති මා වෙනුවෙන් පවත්වනවා.
ජනතාවගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් වූ ඇය සිය ප්‍රේක්ෂක සහෘදයන් ගැන ද මෙසේ කීවේ මහත් වූ ගෞරවයෙනි.
රෝගී තත්ත්වය නිසා මම ආර්ථික වශයෙනුත් හුඟක් පිරිහුණා. දැන් රජයේ රෝහලින් තමයි බෙහෙත් ගන්නේ. මේවාට මගේ රසිකයෝ හුඟ දෙනෙක් මට ආධාර කරලා තියෙනවා. ඇත්තෙන්ම මටම පුදුමයි මිනිස්සු මට ෙමච්චර ආදරේ කළාද කියලා. සමහරු මට කතා කරනවා. ලිපි ලියනවා.
බෝධි පූජා පවත්වනවා. යාච්ඤා කරනවා. සමහරු මගේ ගිණුමට මුදල් දාලා තියෙනවා. සමහරු ඒ අයට හැකි පමණක් කියලා මට මුදල් දුන්නේ. ඇත්තෙන්ම මට මේ අය දීපු මුදල නොවේ වටින්නේ ඒ මිනිස්සුන්ගේ ප්‍රාර්ථනාවයි. ඒ අය කියන්නේ ඉක්මනට සුව වෙන්න කියලයි. ඒ ප්‍රාර්ථනාවම මට ඇති. මිනිස්සු මට ගොඩක් ආ‍දරේ කරලා කියලා මට හොඳටම දැනෙනවා. ඇත්තෙන්ම ඔවුන්ට ගොඩාක් ස්තූතියි මට දක්වන ආදරයට.
වෙලාවකට හිතෙනවා මේක දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති කියලා. දෙවියෝ හිතන්න ඇති මාව ටිකක් කොටු කරලා තියන්න. ඒත් මම හිතනවා උන්වහන්සේ කොයි වෙලාවක හරි මාව ආයෙත් මේ කොටුකරලා තියෙන එකෙන් නිදහස් කර‍ාවි කියලාඇය බලාපොරොත්තු සහගතව කියයි.
බොහෝ දේ විමසන්නට ඇතත්, කෙටි කතාබහකට සීමාවෙන්නට අප තීරණය කර සිටියේ ඇගේ රෝගී තත්ත්වය නිසාය. වේදනාවෙන් පීඩිතව සිටියද ඇය ඇයගේ රසික රසිකාවන්ගේ ආදරය ගැන මෙනෙහි කරන්නේ මහත් සතුටකිනි. අපගේ කතාබහ අවසානයේ ඇය මෙවැනි ඉල්ලීමක් අපගෙන් කළාය.
මගේ රසික රසිකාවියන් වෙනුවෙන් මේකත් ලියන්න
ලබන මාර්තු 03 ‍වැනිදා රූපවාහිනී සංස්ථාවේ හඬ නළු එකමුතුවරැස්වෙලා ටවර් හෝල් එකේ මම වෙනුවෙන් වැඩසටහනක් කරනවා. මගේ රංගන ජීවිතේ ගෙවුණු වසර 50 සමරන්නත් එක්කයි ඒක කෙරෙන්නේ. මගේ රසික රසිකාවියන්ට කියන්න ඒගොල්ලො එනකම් මම බලන් ඉන්නවාකියලා.
පුරා වසර 50 ක් වේදිකාව, ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමාව ආදී ක්ෂේත්‍ර රැසක සුවිශේෂ දස්කම් පෑ ඒ රංගන ශිල්පිනිය ඉක්මන් සුවය ලබා නැවතත් අප අතරට ඒවි යැයි ප්‍රේක්ෂකයෝ ද බලාපො­ෙරාත්තු ෙවති. ඔවුන්ගේ ද ප්‍රාර්ථනය,
මර්සි අපි ද ඔබ එන තෙක් බලා ඉඳිමුයන්න වනු නොඅනුමානය.
මලික් චමින්ද ධර්මවර්ධන
2014 ජනවාරි 24 වැනිදා දිනමිණ පුවත්පතෙනි





පාරවා හදවත් සමුගත් සුගත්
(සම්මානනීය නළු වික්‍රම බෝගොඩගේ  සමු ගැනීම නිමිත්තෙන් ලියවුනකි)

දැඩි ලෙස මත් පැනට ඇබ්බැහිවූ සුගත් කාමරයක හුදෙකලාවය. 
මේ මොහොතේ දම්මි ඔහු සොයා පැමිණියාය.
ඇයි දම්මි ඔයා මගෙ ජීවිතෙත් එක්ක සෙල්ලම් කළේසුගත් අසයි.
සුගත්ගේ වේදනාබර හඬ ඔස්සේ ඇදී යන චිත්‍රපටය විටක සුගත්ගේ කතාවය, තවත්විටක දම්මිගේ කතාවය. අවසාන විග්‍රහයට අනුව නම් එය කාගේවත් කතාවක් නොව පෙම්වතුන්ගේ කතාවයි. 60 දශකයේදී බොහෝ දෙනකුගේ ආදරයෙන් වැලඳගත් දම්මි සුගත්ගේ ආදර කතාව හෙවත් ගොළුහදවත චිත්‍රපටය බොහෝ දෙනකුගේ කතාබහට ලක්විය.
විශිෂ්ට සිනමාකරු අාචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ අධ්‍යක්ෂණයත්, රෙජී සිරිවර්ධනයන්ගේ තිර පිටපතත්, කේමදාසයන්ගේ සංගීතයත් එයට බෙහෙවින් පිටිවහල් විය.ඒ සියල්ලම අතරතුර පෙම්වතුන් දෙදෙනා ලෙස අද්විතීය රංගනයක නියැළුණු වික්‍රම බෝගොඩත්, අනුලා කරුණාතිලකත් කැපීපෙනිණි. සුගත් ලෙස රංගනයේ යෙදුණු වික්‍රම බෝගොඩයන් පසුගියදා ජීවිතයෙන් සමුගත්තේය.
1940 දී මහනුවර හිඳගලදී උපත ලද දොන් වික්‍රම බෝගොඩ පාසල් කිහිපයකින්ම අධ්‍යාපනය ලැබීය. මහනුවර ධර්මරාජ, කොළඹ ආනන්ද, පන්නිපිටිය ධර්මපාල ඒ පාසල් ය. පන්නිපිටිය ධර්මපාලය ඔහුගේ කලා ජීවිතය පුබුදුවාලූ ස්ථානය විය. එවක ධර්මපාලයේ විදුහල්පතිවරයාව සිටි පී. සී. එදිරිසිංහ මහතා ඉදිරිපත් කළ මර්චන්ට් ඔෆ් වැනිස්වේදිකා නාට්‍යයේ ෂයිලොක්ගේ චරිතය රඟපාමින් හෙතෙම රංගනයට පිවිසියේ ය. ෂයිලෝක්ගේ චරිතය නිසා ධර්මපාලයේ දී ඔහු කතාබහට ලක්වූ චරිතයක් විය. වසර අවසානයේ රඟපෑම වෙනුවෙන් සම්මාන ලැබීමට ද බෝගොඩ සමත් විය.
1960 දී ලංකා බැංකුවේ සේවයට එක් වූ ඔහු ඒ සමඟම කලා කටයුතු ද පෙරට ගෙන ගියේය. පසුව සුගතපාල සිල්වා මහතා ගේ බෝඩිංකාරයෝනාට්‍යයේ, වීරසේකර ලෙස රංගනයට ද හෙ‍ෙතම දායක විය. ඉන්පසුව වේදිකා නාට්‍ය කිහිපයකට දායක වූ ඔහු තට්ටු ගෙවල්’, හරිම බඩු තුනක්, තුරඟ සන්නිය, රන්තෝඩු, ඔන්න බබෝ ඇතින්නියා, වහලක් නැති ගෙයක්, කැලණි පාලම යන නාට්‍යයන්හි විවිධාකාර චරිත නිරූපණය කළේය.
බෝඩිංකාරයෝ හි වීරසේකරගේ චරිතය බෝගොඩගේ සිනමා සංප්‍රාප්තියට ද බෙහෙවින් බලපෑවේය. ඒ අනුව ගම්පෙරළියේතිස්ස ගේ චරිතයට තෝරාගනු ලැබෙනුයේ වික්‍රම බෝගොඩ ය. මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ තුන් ඈදුතු නවකතාවන් වූ ගම්පරෙළිය, කලියුගය, යුගාන්තය අළලා සිනමාට නැඟුණු සිනමා පට ත්‍රිත්වයේම තිස්ස ඔහු විය. ලාංකීය සිනමාවේ මෙන්ම ලෝක සිනමාවේද එය සුවිශේෂම අවස්ථාවක් විය. මක්නිසාද යත් තුන් ඈදුතු නවකතා ඇසුරින් නිර්මාණය වූ සිනමාපට ලෝක ඉතිහාසයේම විරලය. ඉන් එක් නිර්මාණයක් වන්නේ සත්‍යජිත් රායිගේ ඕපු ත්‍රිත්වය ය. එහෙත් මේ චිත්‍රපට සඳහා ද සත්‍යජිත් රායි වත් එකම නළුවකු යොදාගෙන තිබුණේ නැත. එහෙත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සිය චිත්‍රපට තුනේම තිස්ස කයිසාරුවත්තේගේ චරිතය සඳහා යොදාගත්තේ වික්‍රම බෝගොඩ ය. වයස අවුරුදු 16 චරිතයක් ලෙස ගම්පෙරළියෙන් ඇරඹෙන තිස්ස ගේ් චරිතය, වයස අවුරුදු 80 දක්වා යුගාන්තය දක්වාම විහිදේ. එම චරිත විකාශනයේ අපූර්වතම රඟපෑමක යෙදීමට වික්‍රම බෝගොඩට හැකිවේ.
මේ හැරුණුකොට ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ම දෙලොවක් අතර, ඩී. බී. නිහාල්සිංහගේ කෙටිකතාවමෙන්ම බිනරමලී, ආදරයයි කරුණාවයි, කිංකිණි පාද, කළණ මිතුරෝ, අහස්ගව්ව, පළගැටියෝ, සමනල කුමරියෝ, අපි කවදත් සූරයෝ, හත්දින්නත් තරු ඔහු රඟ පෑ චිත්‍රපට අතර තිබේ.
ඒ කුමන චිත්‍රපටය තුළ කෙතරම් මට්ටමින් සාර්ථක වුවද වික්‍රම බෝගොඩ නම් කලාකරුවා ජනතාවගේ වඩාත් ආදරයට පාත්‍ර වූයේ ගොළු හදවතේ සුගත් ලෙසය. එහෙත් බෝගොඩ ඇතැම් විචාරකයන්ගේ නිර්දය විචාරයට ද ලක්වීමට මෙයම හේතු විය.
ඇත්තෙන්ම ගොළු හදවත චිත්‍රපටයක් ලෙස නිර්මාණය ට තෝරා ගැනීමේදී ද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ද යම් යම් චෝදනා එල්ල වී තිබිණි.
විශේෂයෙන්ම 1962 වර්ෂයේ ලංකාවේ නවකතා කලාව යොමු වී තිබුණේ ප්‍රේමය මුල්කරගත් සරල කතා වෙතය. එහි මූලාරම්භය ලෙස බොහෝ විචාරකයන් සැලකුවේ 1962 කරුණාසේන ජයලත් ශූරීන්ගේ ගොළු හදවත ය. 1962 රාජ්‍ය සම්මාන පවා ලද මේ කෘතිය සිනමාවට නැගීමට තෝරා ගැනීමේදීම එයට ගැරහුම් එල්ල විය. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ගේ අධ්‍යක්ෂණයෙන් කේමදාසයන්ගේ සංගීතයෙන් රෙජී සිරිවර්ධනගේ තිර රචනයෙන් චිත්‍රපටයක් ලෙස එළි දැක්විණි. මුල්ම අවස්ථාවේ චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනා තුළ ඒ කෙරෙහි පැහැදීමක් නොවුණු බවද කියවේ.
විචාරකයන් කෙසේ කුමක් කීවද සතියක් දෙකක් ඇවෑමෙන් දහස් ගණනින් ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවට ඇදගත් චිත්‍රපටයක් විය. ලංකා සිනමාවේ නව යෞවනයේ සුන්දරත්වය ප්‍රථම ප්‍රේමයේ චමත්කාරය මෙතරම් විචිත්‍ර ලෙස චිත්‍රණය කළ වෙනත් චිත්‍රපටයක් නොවූ නිසාය. කලක් ගත වන විට බොහෝ දෙනකුගේ ප්‍රේම කතාව එය වී තිබිණි. ධම්මිගේ කතාව‘, ‘සුගත්ගේ කතාවලෙසින් බොහෝ දෙනා මෙය වැලඳ ගත්තේ තමන්ගේ හදවතින්ම ය. අධ්‍යක්ෂණය, සංගීතය, තිර රචනය මෙන්ම ඒ සියල්ලම සමඟම ජනතාවට දැනුණේ අනුලා කරුණාතිලක සහ වික්‍රම බෝගොඩගේ චරිත නිරූපණය තුළිනි.
විචාරකයන් බහුතරයක් වික්‍රමගේ චරිත නිරූපණය ගැන කෙසේ කීවද එහි වඩා පෙනී යන කාරණය නම් සිනමාත්මක දෘෂ්ටි කෝණයෙන් බලන කල අධ්‍යක්ෂවරයාගේ භූමිකාව, තිර රචනයේ භූමිකාව, සංගීතඥයාගේ භූමිකාව මෙන්ම අනුුලා කරුණාතිලකගේ් රඟපෑම හමුවේද වික්‍රම බෝගොඩ තරමක් යටපත් වී ඇති බවය.
එමෙන්ම ජනතාවගේ ආදරය ඉහළින්ම දිනූ සුගත්ට සමාජයෙන් ලැබුණේ ඉහළම ප්‍රතිචාරයකි.
ඉස්සර ඉස්කෝලවල ගෑනු ළමයි පමණක් නොවේ, විවාහක කාන්තාවනුත් සුගත් කියාගෙන මගේ ආදරය ඉල්ලාගෙන ආවා.වරක් ඔහු පුවත්පතකට පවසා තිබුණේ එසේය.
විශිෂ්ට චරිතාංග නළුවෙකු ලෙස ප්‍රකටවූ වික්‍රම බෝගොඩයන් අවස්ථා ගණනාවකදීම සම්මාන ද ලබා තිබිණි.
අප සෑම කෙනකුම ප්‍රේමය අත්විඳී ආදරය සුන්දරය... විටක ඉතාමත්ම බොළඳය... ඒ සුන්දර බොළඳ දේ එකතුවීමෙන් අති සුන්දර ප්‍රබල ආදරයක් ගොඩනැඟේ. මේ අත්දැකීම් නැති කිසිවකු සිටියහොත් එය පුදුමයකි. සමහර ප්‍රේම ජයග්‍රහණයෙන් අවසන් වේ. තවත් ඒවා පරාජයෙන් අවසන් වේ. ඒ කුමන අයුරින් අවසන් වුවද සෑම පිරිමියකුගේ ම හිතක දම්මි කෙනකුත් සෑම ගැහැනියකුගේම සිතක සුගත් කෙනකුත් සිටී. ගොළු හදවත චිත්‍රපටය විචාරක මිමිදඬුවලට වඩා ජනතාව වැලඳගන්නේ ඒ නිසාය. එලෙස ආදරය අප හදවතට තුරුලු කළ සුගත් අද නික්ම ගොස්ය.
මලික් චමින්ද ධර්මවර්ධන
2013 ජනවාරි 17  වැනි දිනමිණ පුවත්පතෙනි.